Tuesday, October 11, 2022

                            කෙටිකතාව වනාහී....

                                                         1

සීමිත විෂය පාත්‍රතාවයෙකින් යුතු ව එකීය තේමාවට කේනද්‍රගතවන සේ චරිත කිහිපයකට සීමා කරමින් හේතු ප්‍රත්‍යයන් ගෙන එන ඵලාප්තිය ඉලක්ක කොට බොහෝ විට කතා වින්‍යාසය(වස්තු බීජය)ට වඩා මනෝභාවය උලුප්පවමින් වියනු ලබනු කෙටි ගැදිය කෙටිකතාවයි.

කෙටිකතාව ප්‍රමාණාත්මක වචන කිහිපයට කෙටි විය හැකි අතර පිටු සියයක් තරමට දිගු වීමට ද පිළිවෙන. එහෙයින් කෙටිකතාව එක විටක දී එක දිගට කියවාගෙන යා හැකි තරමට පමණක් දිගු වීම යෙහෙකැයි පැවසේ.

(2013 වසරේ සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ලද -කෙටිකතා පමණක් ලියන- ඇලිස් මොනේරෝගේ ඇතැම් කෙටිකතා පිටු අනූවක් සියයක් පමණ දිගු වේ. බොහෝ ජගත් සම්මාන දිනා ඇති ඇය තම කෙටිකතා සඳහා 2009 දී   International Booker Prize, ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. කෙටිකතාව සඳහා පමණක් ජගත් සම්මානයන් දිනූ අන් ලේඛකයෙකු නොමැත. )

                                                          2

කෙටිකතාවේ ප්‍රකාශන විලාස (ආර) නොහොත් ශෛලීන් කිහිපයෙකි.

1. Fable – උපමාකථා :  ආප්තයන් නොහොත් දැනුමුතුකම් ඇති කතා. උදා: ඊසොප් කතා.

11. Flash fiction - සැණෙළි පබැදුම් : sudden fiction, short-short stories,  postcard fiction යනුවෙන් ද හඳුන්වනු ලබන සම්ප්‍රදායික කථා වින්‍යාසයකින් හෝ චරිත ගොඩනැඟීමකින් හෝ තොරව බොහෝවිට විශ්මිතයකින් හෝ අනපේක්‍ෂිත කූටප්‍රාප්තියෙකින් ඵලාගමය වන වචන 5 -2000 පමණ දිගු නිර්මාණ මේ වේ.

'For sale: baby shoes, never worn'. අර්නස්ට් හෙමින්ග්වේ විසින් ලියන ලද වචන හයකින් යුත් මේ වැකිය සැණෙළි කෙටිකතාවක් සේ ගැනේ.

උදා: Give it up by Franz Kafka (වචන 134 යි)

111. Mini saga - කෙටි ආඛ්‍යාන:  microstories, ultra-shorts stories, or fifty-word stories යනුවෙන් ද හඳුන්වන මෙම නිර්මාණ වචන පනහක් පමණ යොදාගෙන කෙරෙන පරිපූර්ණ කෙටිකතාවක් සේ ගැනේ. බටහිර රටවල ඇතැම් පුවත් පත් කෙටි ඉඩක් යොදා පළකරනු වස් මෙවන් කෙටිකතා තරග පවත්වයි.

IV. Vignette පබදුම් අලංකාකරණය:  කුඩා ලියවැල යන අරුත ඇති ප්‍රංශ වචනයෙන් බිඳුණු යෙදුමෙකි. කථා වින්‍යාසයෙකින් තොර ව, පූර්ණ කෙටිකතාවක් නිර්මාණය නොවන සිද්ධි/චරිත/ අදහස් සූක්‍ෂම ලෙසින් වරගන්වා කෙරෙන රචනා ආරකි මේ. Margaret Atwood –  – ඡේද හතකින් ලියා ඇති The Female Body පබැදුම මීට ඇති හොඳම උදාහරණයයි.

  V.  Modernism නූතන වාදී : ජීවන අත්දැකීම් ග්‍රහණය කොට දැක්වීම සඳහා ආඛ්‍යාන විධි, ආකෘතිමය ආකාර, fශෛලය සහ  ආත්මගත භාෂණය හා විඤ්ඤාණධාරා ආදී සන්දර්භ අත්හදා බැලීම් ඔස්සේ වර්ජිනියා වුල්ෆ්, ජේමිස් ජොයිස් වැනි ලේඛකයින් යොදාගත් කෙටිකතා ආරෙකි මේ.

VI. Postmodernism පශ්චාත් නූතනවාදී කෙටිකතා: අසම්පූර්ණ, විරෝධාභාස, ඇදැහිය නොහැකි ආඛ්‍යායික යොදාගනිමින් වියමනත්, කතෲත්, කියවන්නාත් අතර සබැඳියාව විපරම් වනසේ සිදුකෙරන ගවේශනාත්මක කෙටිකතා වෙසෙස. උදා: මාග්‍රට් ඇට්වූඩ්ගේ ,  Jorge Luis Borges ඇතැම් කෙටිකතා.

VII.  Magical realism මායා යථාර්තවාදී කෙටිකතා: යථාර්තවාදී ආඛ්‍යාන හෝ පසුතල, අධියථාර්තවාදය හා සිහින සහ ෆැන්ටාසි  යන මුඛ්‍යාංග සමඟ මුසුකොට ලියනු ලබන කෙටිකතා. උදා ගාෂියා මාකේස්.

VIII. Minimalism ලුහු කෙටිකතා: සෘජු බස්වහර යොදාගනිමින් සම්මත කතා වින්‍යාසය ඇත්තේ ම නැති තරමට ලුහුඬුව ඉදිරිපත් කෙරෙන කෙටිකතා. උදා: රේමන්ඩ් කාවර්.

 

අබිරහස්, වික්‍රමාන්විත, ප්‍රහසන, රහස්  පරික්‍ෂක, උපමාකතා, එෛතිහාසික, බිහිසුණු, දර්ශනික, දේශපාලනික, ප්‍රේම, හාස්‍ය, විද්‍යාත්මක, ශොකාන්ත...යනාදී වශයෙන් වූ ඕනෑම මාදිලියෙක තේමා ඉහත ආරයන් ඔස්සේ කෙටිකතාකොට වියමනේ යෙදේ.

කිසිවිටෙක යොදාගත් ආර නිසාවත් එහි දිගේ තරම නිසාවත් කෙටිකතාවක් උසස් වන්නේ නොව. අර්නස්ට් හෙමින්ග්වේ, චෙකෝෆ්, ඇලිස් මොන්රෝ වැනි උසස් යැයි පිලිගත් කෙටිකතාකරුවන් නිතර ම ලියූ වේ යථාර්තවාදී නොහොත් සත්වාදී කෙටිකතායි. හෙමින්ග්වේ සහ චෙකෝෆ් ඉතා කෙටි වූ කෙටිකතා ලියා ඇති අතර මොන්රෝගේ සියළු ම වගේ කෙටිකතා දිගුය. අනගිභවනීය ලේඛකයින් දෙදෙනෙකු වූ කෆ්කා සහ මාකේස් මායා යථාර්ථවාදී කෙටිකතා තැනූහ.

කෙනෙකුට මොන්රෝ සේ දිගු හෝ මාකේස් බඳු කෙටි හෝ රේ බ්‍රැඩ්බරි සේ කෙටි, මධ්‍යම සහ දිගු යනාදී තුන් වැදෑරුම් ව හෝ උසස් කෙටිකත ලිවිය හැක.

ළිඳේත්, පොකුණේත්, ජලාශයේත්, පතහේත්, ඌරාකොටේත් ඇත්තේ වතුර මය. කෙනෙකුට පුංචි ළිදේ වතුර රස විය හැක. අයෙකුට ඌරාකොටේ වතුර මිහිරි විය හැක. මේ හැම වතුරෙන් පිරී තිබුණ ද නා නා අය නා නා වතුරට මනාපය. එහෙත් පිපාසයට බීමට නම් වතුර පිරිසිදු විය යුතුය.

කෙටිකතා ද එබඳු ය; උසස් විය යුතුය.

                                                3

කෙටිකතාවක් අනිගි වනුයේ කෙසේ ද?

          කියවන්නා තුළ බලපෑමක් ඇති කරනු වස් කෙටිකතා සඳහා මුඛ්‍යාංග හතරක සුසංයෝගයක් ලෙස දැක්වේ.

I.   Characters චරිත

II. Plot කතා වින්‍යාසය නොහොත් වස්තු බීජය

III. Setting පසුතලය

IV. Tension/conflict ගැටුම නොහොත් සංඝටනය

 

චරිත :

ඔබේ පාඨකයාට එල්ඹ සිටිය හැකි එක් චර්තයක් හෝ එහි තිබිය යුතුය’ කර්ට් වොනගට් ලේඛකයා කියයි. ‘සෑම චරිතයකට ම යම් ඇවැසි දෙයක් වෙත්’

කෙටිකතාවක හැසිරීම පවත්වා ගනුයේ චරිත විසින. එම චරිත වඩ වඩා සජීවිී කරණය වන විට චරිත අලලා වඩ වඩා ලිවීමට පිළිවෙන.

චරිත පර්යාලෝකය වර්ණ ගන්වමින් චරිත ඇරැඹුම, සිදුවිම් සහ කෙළවර වචනානුසාරයෙන් එකිනෙක චාපගැන්වෙන විට පාඨකයා ඇලුම්ගන්වමින් සූක්‍ෂම ව කතාව ගොඩ නැඟේ.

කර්ට් වොනගට්ගේ පැහැදිලි කිරීම මනරම් ය. පාඨකයා කෙටිකතාවේ චරිතයටක එල්ඹගත් විට ඔහු නිරායාසයෙන් කෙටිකතාව කියවයි.

කතා වින්‍යාසය :

රජු මිය ගියේය. ඉක්බිතිව බිසව මැරිණ‘ මෙය කතාවෙකි. ‘රජු මිය ගියේය. ඉක්බිතිව ඒ සොවින් බිසව නැසිණ‘ කතා වින්‍යාසය වනාහී මෙය යැයි ඊ එම් ෆොස්ටර් සඳහන් කරයි.

කතා වින්‍යාසය කුමක් දැයි දිගු රචනාවකින් කිවයුත්ත ඊ එම් ෆෝස්ටර් මෙසේ වැකියකින් කියයි.

බිසව මියගියේ මන් ද? ඊට දේශපාලනයක් තිබේ ද? මානසික තත්ත්වයන් හේතු මූල වී ද?

පළවැනි විමලධර්මසූරිය රජුගෙන් පසු ඔහුගේ අග මෙහෙසිය වූ දෝන කැතිරිනා කුසගින්නේ හිඳිමින් බොහෝ රෝගීව මිය ගියාය. ඊට දේශපාලනයක් තිබිණ. ඉක්බිති රජ වූ සෙනරත් ඇය විවාහකරගත්තේ ඇගේ රාජ උරුමය හේතුවෙන් විනා ඇය කෙරේ උපන් ස්නේහයෙන් නොවේ. ඇගේ මරණයට මානසික පීඩාවක් හේතුවිය. සෙනරත් තම පුත්‍රයාට රජකම පවරා දෙනු වස් විමලධර්මසූරියට දාව ඇයට උපන් කුමරා දියේ ගිල්ලවා මරා දැමීය.

කතා වින්‍යාසය අර්ථදැක්වීමට ඒ හොඳට ම ප්‍රමාණවත් යැයි මම සිතමි.

පසුතලය :

කෙටිකතාවක් පාඨකයා තුළ ඇති කළ යුත්තේ එක් මනෝභාවයයෙක් පමණි. සියලු වැකි ඒ අරමුණ සපුරාලීම සඳහා නිර්මාණය විය යුත්තේය’ - එඩ්ගා ඇලන් පෝ.

කෙටිකතාකරුවා තම කියවන්නාගේ සිතේ හෝ වින්දනයේ හෝ ඇවිලවීමට අපේක්‍ෂාකරන තිගැස්ම, විශ්මිතිය, භීතිය, කුහුල, ආදරය, ක්‍රෝධය ...වැනි කුමක් හෝ එක් මනෝ  වෘතියක් සඳහා ම තම වියමන ගෙත්තම් කළ යුතුය.

එහි දී ‘ කිසිවක් යම් තැනකට නිශ්චිතව හිමිවිය යුතු නැත, දොර පලු දෙක සරනේරුමත ම තිබිය යුතු නොවේ’ යැයි සාකී ී ලේඛකයා කීය.

නිර්මාණය නම් එයයි. දොර පලු සරනේරු මත ම නොවිය හැක. එය ම කරනකොට මනෝභාවයක් නිර්මාණය කළ හැක.

ගැටුම :

කෙටිකතාවේ  කතා වින්‍යාසය ඉදිරියට ගෙන යන ගතික බලවේගය ගැටුම යැයි පැවසේ. සාහිත්‍යක ගැටුමෙකින් තොර ලියැවිල්ලක් කෙටිකතාවක් බවට පත් නොවන බැව් පැවැසේ. මෙම ගැටුම ස්වභාව ධර්මයේ බලවේග, සමාජගත සංසිද්ධීන් හෝ තමා තුළ ම ඇති හැඟුම්, චිත්තවේග, මනෝභාවය, රෝග..යනාදී යම් කරුණක් හා විය හැක.

සතුට වනාහී වීදුරු බැම්මෙන් වට වූ උයනකි:  පිටතට යාමටත් ඇතුළට ඒමටත්  මංපෙත් එහි නැත. ස්වර්ගයේ කතාන්දර නොමැත, මන්ද එහි ගමන් බිමන් නොමැති හෙයින. පරාජය, දුක්ඛදොම්නස, අළාමුළාව සහ පැතුම් විසින් කතාවක් වංගු මං ඔස්සේ ඉදිරියට ගෙනයනු ලබයි’ යැයි මාග්රට් ඇට්වුඩ් පැවැසූයේ එහෙයින.

          කුමන ශෛලියේ පබැදුමක් වු ව එය කෙටිකතාවක් කරනුයේ මෙසේ ගැටුම යනුවෙන් හඳුන්වනු ලබන එම සාහිත්‍යික ගැඹුර කරනකොටයි.

          වරක් වචාරකයෙකු තම ලියැවිල්ලක මෙසේ ලිවීය: ඔබට කෙටිකතාව හඳුනාගැනුමට උවමනා නම් ඇලිස් මොන්රෝ, රේමන්ඩ් කාවර් සහ චෙකෝෆ් කියවන්න. ඔබට අන් දෙදෙනා කියැවීමට අවස්ථාවක් නොමැතිනම් චෙකෝෆ් යළි යළි කියවන්න.

                                                ***

 

 

 

1 comment:

  යුක්තියේ දෙවඟන නොහොත් එළදෙන - චෙන්නායි මහාධිකරණය ඉදිරිපිට ඇති පිළිරුව බලන්න . යුක්තියේ දෙවඟන නො වූ ව ද එය යුක්තියේ පිළිරුවෙකි. බිඳුණු කරත්...