මහනුවර - 4
කන්ද උඩරට ඉංග්‍රීසින්ට යටත් වීමත් සමඟ මහනුවර නගරයට සදාකාලික ව ම වැව් දෙකක් අහිමි විය.
#මාතලේ පාර තැනීමේ දී ගොඩ කළ සිතියමෙන් පවාමැකී ගිය මහනුවර බොරවැව,
##ගොඩකළ ද සිඳලිය නොහැකිව අදත් උල් කඳුලෙන් මහ මග තෙත් කරන බෝගම්බර වැව.
පන්ඩුකාභය රජු (කි පු 437-367) අභය වැව ඉදිකිරීමේ සිට මෙරට අවසන් රජු දක්වා ලංකාවට ම උරුම වාරි තාක්‍ෂණ යොදා ගොවිතැන් බත් සඳහා වැව් කරවන ලදි.
ආක්‍රමිකයින් කරනකොට සාමයෙන් තොරව අපමණ යුද පැන නැංගේ වු ව මහනුවර රාජධානිය කරගත් රජවරු ද වැව් තැනවීමේ නිරත වූහ.
මන්දාරම් පුවතේ සඳහන් වන පරිදි දෙවැනි රාජසිංහ රජු කන්ද උඩරට වැව් තිස් දෙකක් කරවා තිබේ.
ලංකාවේ අවසන් රජ දවස වෙන විට මහනුවර වැව් තුනක් ගැන සඳහන් වේ.
1 බොර වැව
11 බෝගම්බර වැව
111 කිරි සයුර නොහොත් නූතන මහනුවර වැව
1- බොර වැව :
පළමුවැනි විමලධර්මසූරිය රජු හෝ දෙවැනි රාජසිංහ රජු හෝ තනවන ලදයි සැලකෙන වැවකි බොරවැව.
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු නාථ දේවාලයට අයිති ටිගොල් වෙල් යාය හාරා කිරි සයුර තැනීමට සැරැසෙන විට ඇහැලේපොල මහ නිලමේ නුවරට දැනටමත් බොර වැව සහ බෝගම්බර වැව තිබිය දි තවත් වැවක් කුමට දැයි වැව ඉදිකිරීමට එරෙහි වෙමින් රජුගෙන් ප්‍රශ්න කළ හෙයින් රජු ඔහුට තව තවත් වෛර බැන්දේ හයි පැවසේ.
කිරි සයුර ඉදිකිරීමෙන් පසු වැවෙන් පිටාර ගලන වතුර අගලක් ඔස්සේ කිරිසයුරට ගෙන ආ බැව් සැලයි.
එකල රජවාසල සිට මාතලේ දෙසට දිවෙන එක් මාර්ගයක් හඳුන්වා ඇත්තේ ‘බොරවේ වීදිය’ නිමිනි.
නඩත්තුවක් නොමැතිව පසු කලෙක නිතර පස්කඳු කඩා වැටීමෙන් වතුර බොරවන හෙයින් මේ වැව බොර වැව සේ නම් විය.
විටින් විට ගොඩ කොට කළ ඉදිකරීම් සහ අවසානයේ පස් දමා ගොඩකොට 1829 දී මහනුවර මාතලේ මාර්ගය ඉදිකිරීමත් සමඟ මේ වැව සම්පූර්ණයෙන් ම වැසී ගොසිණ.
බෝගම්බර වැවත් කිරිසයුරත් ස්ථාන ගත වූ පැරැණි සිතියම් සොයාගත හැකි වු වත් බොරවැව තියෙන සිතියමක් හෝ සොයා ගැනුම ඉතා අසීරුය.
මේ සමඟ ඇති සිතියම මා උපුටා ගනු ලැබූයේ පුංචිබණ්ඩාර දොලපිහිල්ලගේ IN THE DAYS OF SRI WICKRAMARAJASINGHA - The Last King Of Kandy පොතෙනි.
බලන්න, එහි බොරවැව දක්වා තිබේ.
11 - බෝගම්බර වැව
පළමුවැනි විමලධර්මසූරිය රජු හෝ දෙවැනි රාජසිංහ රජු හෝ දුනුමඬලා ඔය හරස්කොට ඉදිකළ වැවයි බෝගම්බර වැව. දුනුමඬලාකන්ද, හන්තාන කඳු වැටිය, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ වතුරෙනුයි වැව පෝෂණය ව ඇත්තේ.
අද බෝගම්බර ක්‍රීඩා පිටියේ සිට පොදු වෙළද පොළ, මහනුවර බස් නැවැතුම්පොල, පොලිස් ගොඩ නැඟිල්ල, ගනදෙව් කෝවිල, ප්‍රධාන තැපැල් කාර්යාලය, දුම්රිය පල තෙක් සයුරක් සේ පැතිරි බෝගම්බර වැවෙන් දෙයියනේනේ වෙල, ගැටඹේ, මුල්ගම්පොල වෙල්යායට දියවර සැපැයිණ.
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස 1706 දී වැව පෝෂණය කළ කඳු ඔස්සේ ම ගලා ආ මහා ජල ගැල්මෙන් මෙම වැව් බැම්ම බිඳී ඉක්බිතිව වැවේ රෙන් මඩ තැන්පත් වීමෙන් වැවේ පරිහානය ඇරැඹි බවත් එසේ නඩත්තුවක් නොවී පැවැතිය දී 1828 ජලගැල්මෙන් වැව බොහෝ සෙයින් හානියට පත් වූ බවත් පැවසේ.
1814 මැයි 17 වැනිදා විශ්ණු දේවාලය සහ නාථ දේවාලය අතර පිහිටි දේව සංහිඳ හි දී ඇහැලේපොල කුමාරහාමී ඇතුළු පිරිස මරණ දඩුවමට පැමිණ වු ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඇගේ පිරමිදරුවන් දෙදෙනාගේ හිස ගසා දමවා බිළිඳු දියණියගේ හිස ඈ ලවා ම වංගෙඩියේ ලා කොටවා ඇහැලේපෝල කුමාරි හාමිත් පුස්සැල්ලේ දීශාවගේ බිරිඳත් බෝගම්බර වැවේ ගිල්වා මරා දැමුණු බැව් ප්‍රකටය.
(කම්පාවට පත් කන්ද උඩරැටියන් විලාප දී හඬනඟා ඇත, එතැන් පටන් දින දෙකක් කන්දේ නුවර කිසිම ගෙදරක ලිප මොලවා යමක් නොපිසූ බැව් පැවසේ)
පත්තිරිප්පුවේ සිට රජුට මෙය නැරැඹීමට හැකිවූයේ එම දියේ ගිල්ලීම අද කොඩිතුවක්කු ගොඩනැඟිල්ල පිහිටිතැන බෝගම්බර දියේ සිදුකළ හෙයිනැයි මා වරෙක කියවා ඇත.
1840 පමණ වනතුර බෝගම්බර වැව් රාජයා නඩත්තු නොවුන ද යම් අයුරකින් රැකිණ.
1841 කොළඹ- මහනුවර මහා මාර්ගයේ වැඩ නිමකිරීම සඳහා බෝගම්බර වැවේ කොටසකුත්, 1867 මහනුවරට පිවිසෙන දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා තවත් කොටසකුත් වශයෙන් ගොඩ කරනු ලැබූ වැව 1875 වේල්ස් කුමාරය ලංකාවට පැමිණෙන අවස්ථාවේ සම්පූර්ණයෙන් ගොඩකොට අද පවතින් ක්‍රීඩා පිටිය තැනූ බවත් සඳහන් වේ.
එහෙත් තවම මෙම වැව් රාජයාගේ කඳුළු උල්ව දුම්රිය පල මාර්ගය විටින් විට තෙත් කරයි.


No comments:
Post a Comment