Thursday, December 15, 2022

  

 

                පරිවර්තන සාහිත්‍යය : කවි -1

කවි පරිවර්තනය -  නොබෙල්ත්‍යාග ලැබීමට තරම් වූ අපේ කවියෝ...

            අපේ සංවර්ධිත ම සාහිත්‍යාංගය කවිය යැයි මම හඟමි.

            කවිය මේ අහස යට දී සෙසු කවි හා ගැටී ඉස්මතුවීමට නම් එය ලෝකයට යා යුතුයි. ඊට ඇති එක ම වූ මහා යානය ලෝක මට්ටමේ බසකට කවි පරිවර්තනය වී ම යි.

සිංහල සහ ඉංග්‍රීසි මගේ දැනුමේ පමණට, පළමු අදියර සේ, මම අහඹු කවි කිහිපයක් ඉංග්‍රීසියට දැමීමි.

 

රමණීයත්වයෙන් තොර වස්තූන් පවා ගෙන, හොඳ ම වචන හොඳ ම ලෙසින් නිරියාසයෙන් පිටාරා ගලායන සේ ගලපා, අන් ආකාරයකට දැක්විය නොහැකි පරිදි අරුත් ප්‍රතිපාදනය කරමින්, අප ආසාදනය වන පරිදි ස්වකිය වේදිතයක්  අප තුළ ජනිත කරවීමට කවියා සමත් වේ.

කවිය පරිශීලනයේ දී එක් අර්ථ සිද්ධියෙකි ජීවිත පරිඥානය. කාලය හා දේශ සීමා ඉක්මවා යන සේ ජීවිතය හසුකොට මානව දයාව කැටිවූ ප්‍රසාද ගුණයෙන් යුත් සිංහල කවි අපමණය.

අපේ ඇතැම් සිංහල කවි ලොක තලයේ දී එසැවී මතු වී ඉඳිය හැකි කවි යැයි මට හැඟුණු අවස්ථා බොහෝ ය.

දකුණු කොරියාවේ KO UN කවියා සාහිත්‍යය නොබෙල් ත්‍යාගයට පවා නිර්දේශවුණු කවියෙකි.

        Since I won’t be able to cry after death
        I cry while I live.

        I cry on moonlit nights.

        A moonlit night
        is the very stronghold of tears,
        a sit-in of tears until dawn.
        I cry until
        the first cockcrow, the second cockcrow is heard.

        I cry with the bashful joy
        I feel after crying for a long time.
        I cry
        until there is revolution in the distant future.

    කොරියන් බසින් මෙය ඉංග්‍රීසියට නඟා ඇත්තේBrother Anthony and Lee Sang-Wha  දෙදෙනායි.  Lee Sang-Wha  යනු අනිකෙකු නොව ඔහුගේ බිරිඳයි. ඇය ඉංග්‍රීසි විෂය මහාචාර්යවරියෙකි. ඉදින් ඔහුගේ කවි ඉංග්‍රීසියට නොනැඟණි නම් ඔහු හුදු කොරියන් කවියෙකු පමණි.

        ඔහුගේ ම හයිකු පන්නයේ කෙටි කවියෙකි මේ.

                           Speechless

                                    -by Ko Un



        At Auschwitz

        piles of glasses,

        mountains of shoes ...

        returning, we stared out different windows.

 

මෙතෙක් ලෝ පුරා කවීන් විස්සකට සමීප දෙනෙකු නොබෙල් ත්‍යාගය ලබා ඇත. එය ලැබූමට තරම් උසස් කවියෝ අප අතර අදත් සිටිත්. එහෙත් ඔවුන් මේ කොදෙව්වේ තනිකොට ඇත.

මැක්ෂිම් ගොර්කි, තෝල්ස්තෝයි, දොස්ත්‍රවොස්කි ආදීන්ගේ රුසියන් කෘති අපි පරිශීලනය කරන විට ඇමෙරිකාවට උසස් සාහිත්‍යයක් ඇතැයි අප දැන සිටියේ ද නැති තරමි. ඒ වන විට රුසියන් සාහිත්‍ය පරිවර්තන කෘති අපමණවත් අප අතර තිබුණු මුත් ඇමෙරිකන් කෘති පැමිණ නොතිබිණ.

මේ වනවිට ටෝනි මොරිසන් හෝ අර්නස්ට් හෙමින්වේ හෝ ගැන නොදන්නා කෙනෙකු නැති තරමි.

අපේ සාහිත්‍ය කෘති ලෝකය හමුවට යාමට නම් ඒවා යටත් පිරිසෙයින් ඉංග්‍රීසියට හෝ පෙරළී තිබිය යුතය.


වාසනාගුණයෙන් හෙබි සිංහලයෙන් ලියන කවි කිවිඳියෝ බොහෝ වෙත්. මා මේ ලිපියෙ දී සැලකිල්ලට ගනුයේ රටේ කිවිඳුන්ගෙන් හරස් කඩෙකින් බිඳෙකි.

 

 

කවි පරිවර්තනය අසීරුය. පරිවර්තනයේ දී කවිය හැලෙන බැව් ඉංග්‍රීසි ජාතික මහා කවි ෆොරෝස්ට් කියා ඇති බැව් ප්‍රකටය.

කවි පරිවර්තනය  කිරීම  නොහොත්  Translation ඉදිරිපත් කිරීම වෙනුවට අද කෙරෙනුයේ Interpretation කිරීම නොහොත් කවිය සොයා යාමට උදව් කිරීමකි, නැතහොත් අර්ථ වින්‍යාස ගැන්වීමෙකි. මා විසින් ද මෙහි දී කරනු ලබනුයෙ එයයි.

ගුත්තිලය හෝ සංදේශකාව්‍යයක හෝ කවියක් ගත් විට පරිවර්තනය අසීරු ම නැත . මුඛය අර්ථය ලබා දිය හැකි වූ වත් එ බඳු අවස්ථාවල පවා කවියේ ශබ්දික ගුණය නැතිවේ යැයි තර්ක කළ හැක.

මේ හානිය සිංහල කවියට පමණක් පොදු වූවක් නොවේ. එහෙයින් හැකි පමණින් හෝ අපේ කවි ඉංග්‍රීසියට ගෙනැවිත් පාඨක පිරිස පුළුල් කර ගැනීම මනා වේ.

    ධර්ම පදය කාව්‍ය ග්‍රන්ථයක සේ සැලකේ දැයි නොදනිමි. එහි එන පළමු වග්ගේ -යමක වක්කේ- පළමු ගාථාව ගතහොත්

    මනේ පුබ්බංගමා ධම්මා - මනේ සෙට්ඨා මනේමයා

    මනසා චේ පදුට්ඨෙන- භාසති වා කරෝති වා

    තතෝ නං දුක්ඛමන්වේති - චක්කං ව වහතෝ පදං

            මෙහි අකුසල කර්මය ගොනා පසු පස එන කරත්ත රෝදය හා සරි යැයි කියයි. කරත්ත රෝදය වු ව එය රැගෙන එනුයේ මහ බරෙකි; දුකෙකි, වේදනාවෙකි. ඒ අර්ථයෙන් ගත් විට බටහිර කවියේ මාහැඟි උපමා හා රූපක metaphor and simile මේ ගථාවේ මැනවින් යෙදේ.

මෙය ඊ ඩබ්ලිව් අධිකාරම් උගතුන් විසින් අගේට ඉංග්‍රීසියට දමා තිබේ. නොහොත් අර්ථ වින්‍යාස ගන්වා ඇත.

බලන්න:

All states have mind as there fore-runners; to them mind is supreme and  of mind are they made. Therefore , If one , with defiled mind, speak or acts, on account of that does suffering follow one as the wheel follows the foot of the wagon- bearer.

පාලි ගාථාව යම් රිද්මයකට  ගැයිය හැකි වූ ව ද මෙම මනා ඉංග්‍රීසි පරිවර්ථනය ගායනා කළ නොහැක; ශබ්දික ගුණය අතුරුදන්ය. එහෙත් මුල් ගාථාවේ ඇති උපමා රූපක ඉංග්‍රීසි යෙදුමේ ද වේ; හානියක් වී නොමැත. අර්ථ වින්‍යාස ගැන්වීම නම් එයයි.

 ගුත්තිලයේ ප්‍රකට කවියෙකි මේ.

දියෙහි යන දණ්ඩ                              

පිහිටක් වෙතත් පෙරසි                    

දුදනන් හට පිහි                                 

නොවෙව් යන බස සැබෑ කළෙ ම    ට

එන් ඊ වීරසූරිය ශූරීන් විසින් මෙය මෙසේ ඉංග්‍රීසියට නඟා තිබේ.

This man manifested to me the old maxim, do not help the wicked even iF you helped a floating  stick.

 

පරිවර්තනයේ දී කවිය සොයා ගත යුතුවේ. ඇතැම් විට හසුවෙනුයේ කවියෙන් බිඳෙකි. එය බසෙකින් අන් බසෙකට ගෙන ඒ මේ දී සිදුවන තාක්‍ෂිණික වරදෙකි. නමුදු එයින් කවියට මහ හානියක් නොවේ.

*  *  *

ඇතැම් කවි පරිවර්තනය කළ හැක. ඇතැම් විට පරිවර්තන  කවිය තුළ සොයාගත හැකි පමණින් එය පරිවරත්නය කළ හැකි වේ. එනම් අර්ථ වින්‍යාස ගැන්වේ. එනමුදු ඇතැම් කවියක් කෙසේ වත් අර්ථ වින්‍යාස ගැන්වීම වූ  ව  කළ නොහැක.

කෙසේවත් පරිවර්තනය කළ නොහැකි නොහොත් පරිවර්තනය(අර්ථ වින්‍යාස ගැන්වීම)  ඉතා අසීරු කවි බොහෝ විට කවි බසින් පොහොසත් කවිය. එසේ ම ඇතැම් කවි තුන් තේරැවිලි බඳුය. එබඳු කවිවල කවිය ඇත්තේ තේරැවිල්ල තුළ හෙයින් එය ඉංග්‍රීසියට නැඟීම නොහොත් අර්ථ වින්‍යාස ගැන්වීම පවා කළ නොහැක.

බටහිර රටෙක කවියෙකුගේ කවක් අන් බටහිර බසකට පරිවර්තනය කිරීම යම්තාක් දුරට පහසු යැයි මට හැඟේ. පෙරදිග ද එබඳුය.

ඉන්දීය කිවිඳියක වන සරෝජිනී නයිදුගේ මේ කවිය මහගමසේකර විසින් සිංහලට නැඟීය.



WEAVERS, weaving at break of day,

Why do you weave a garment so gay? . . .

Blue as the wing of a halcyon wild,

We weave the robes of a new-born child.

Weavers, weaving at fall of night,

Why do you weave a garment so bright? . . .

Like the plumes of a peacock, purple and green,

We weave the marriage-veils of a queen.

Weavers, weaving solemn and still,

What do you weave in the moonlight chill? . . .

White as a feather and white as a cloud,

We weave a dead man's funeral shroud.

 

    සන්නාලියනේ සන්නාලියනේ

    මේ හිමිදිරි උදයේ

    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී

    කාටද ඇඳුම වියන්නේ.

    මාල ගිරා තටු සේ ම රුවින් යුතු

    නිල්වන් ඇඳුම වියන්නේ

    කාටද ඇඳුම වියන්නේ

    මාල ගිරා තටු සේම රුවින් යුතු

    නිල්වන් ඇඳුම වියන්නේ

    ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි

    මේ පොඩි ඇඳුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ

    මේ හැන්දෑ යාමේ

    හැඩ වැඩ දමලා ලස්සන කරලා

    කාටද ඇඳුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්

    දිලිහෙන ඇඳුම වියන්නේ

    කාටද ඇඳුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්

    දිලිහෙන ඇඳුම වියන්නේ

    ඒ කුලුදුල් දූ...දීගෙක දෙන්නයි

    මංගල ඇඳුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ

    සීතල සද එළියේ

    මැලවුනු මූනින් වෙව්ලන දෑතින්

    කාටද සලුව වියන්නේ

    සීතල සලුව වියන්නේ

    කනකොක් තටුවේ සුදුමැලි පාටින්

    සීතල සලුව වියන්නේ

    කාටද සලුව වියන්නේ

    කනකොක් තටුවේ සුදුමලි පාටින්

    සීතල සලුව වියන්නේ

    මියගිය ඇයගේ මිනිය වහන්නයි

    සීතල සලුව වියන්නේ

 

 

සරෝජිනී නයිදුගේ මුල් ඉංග්‍රීසි කවියේ අරුත සහ භාවය සිංහල කවියේ නොනැසී තිබේ. එය ඉතා සාර්ථක අර්ථ වින්‍යාස ගැන්වීමෙකි.

 

 

                                                                        *   *   *

            

මහගමසේකරගේ මේ කවිය ගනිමු.

 

                                    කුසලානේ

                                     ලූ

                                    මිදි යුෂ

                                   කුසලානේ

                                    හැඩය ගනී

                                    කුසලානේ

                                      ලු

                                      විෂ වුව

                                     කුසලානේ

                                      හැඩය ගනී

 

                    මෙය ජීවිතයේ යම් දර්ශණයක් සහිත ගැඹුරු කවියෙකි. කෙනෙකුට මෙය හයිකු ආරේ කවියකැයි කිව හැක.

                 මෙය ඉංග්‍රීසියට ගැනීමට බලමු.



 


                       The wine

                           in

                        the goblet

                           takes

                        the shape

                         of 

                        the goblet,

                      Even

                     the poison

                      in it

 takes

                             on that form.

 

              එසේ නොමැතිව මේ ආකාරයෙන් ද අර්ථ නිරූපනය කළ හැක.

 

                        The poison

                      in

                     the cup

                     takes

                       the shape

                   of

                     the cup,

                      as does

                    the poured

                        wine.

 

                                       කෙනෙකුට මේ අර්ථ වින්‍යාස ගැන්වීම් දෙක ම අසාර්ථක යැයි සිතිය හැක.  වෙනත් ආකාරයකින් මෙය ඉංග්‍රීසියට දැමීම තවත් කෙනෙකුට කළ හැක.

                             එය කවිය අන්බසකට ගෙන ඒමේ දී ඇතිවෙන ස්වභාවයයි.

                                                            *   *   *

කපිල එම් ගමගේ කවියාගේ මෙම කවියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. මෙහි එන තාත්තා මගේ තාත්තායි, මගේ පුතාගේ තාත්තායි; ඔබේ තාත්තායි.

නොඅනුමානව ම මෙය ඉතා ඉහළ මට්ටමේ කවියෙකි.

 

තාත්තෙක් නම් -----





 

            තාත්තෙක් නම්

            තිබිය යුතුම ය

            බඩගින්න නොදැනෙනා මොහොතක්

            මසවුළින් පිරි වීදි පසු කොට යන්න හැකි එඩිතර ම මනසක්

 

             තාත්තෙක් නම්

             තිබිය යුතුම ය

            අපවාද උහුළනා පපුවක්

            තියුණු විෂ හී ඉවත් කළ විට

            කඳුළු නොගලන අරුම දෙනෙතක්

 

            තාත්තෙක් නම්

            තිබිය යුතුම ය

            පාට වියැකුණ ඉරුණු කුඩයක්

            යොදුන් ගණනින් ඇවිද ගියමුත්

            රිදුම් නොදැනෙන තරුණ දෙපයක්

 

            තාත්තෙක් නම්

            තිබිය යුතුම ය

            අඳුරු අහසක සිනා පොකුරක්

            ගිම්හානයක ඉරිතැලුණ බිම පතුලෙ

            සැඟවුණ සුනිල පොකුණක්

 

            තාත්තෙක් නම්

            තිබිය යුතුම ය

            පරණ පැසකට කාසි අහුරක්

            මාසයක් මැද ගෙවුණු විටදිත්

            අතට දියවුණ පැතුම් පොකුරක්

 

මෙම කවිය කියවා ඉංග්‍රීසියට නැඟූ මම මගේ මිතුරු අජිත් පැරැකුම් ජයසිංහට කවිය දුනිමි.

ඔහු ද එම කවිය ඉතා අගේ කරමින් එය ඉංග්‍රීසි බසට පෙරැළීය.

මගේ අර්ථ වින්‍යාස ගැන්වීම :

              If one is a father....

If one is a father,

he should have

some instances

of keeping his starvation at bay

and

courageously striding down a street

full of delicious food.

 


If one is a father,

he should have

the heart to bear humiliation

and

amazing eyes to hold back tears

even if

toxic sharp arrows are withdrawn.

If one is a father,

 he should have

a faded, worn umbrella

and

pain-free young legs

to go many leagues on foot. 

If one is a father,

he should have

a cluster of hearty laughs in the gloomy sky

and

a crystal water pond

beneath the cracked summer ground.

If one is a father,

he should have

a handful of coins for an old basket,

and

a bunch of worn-out wants,

even after mid-month.

 

ප්‍රවීන පරිවර්තකයෙකු වන අජිත් පැරැකුම් ජයසිංහ එම කවිය ඉංග්‍රීසියට නැඟුවේ මෙලෙසින.

If you’re a father

You must have a moment

You dare to feel no hunger

As you are passing a street of food courts

If you’re a father

You must have a heart

To bear the poisonous arrows of insults

And eyes not to bleed tears

When the arrows are rooted out

If you’re a father

You must have

A faded, ragged umbrella

And unwearied youthful feet

Even though you tread leagues

If you’re a father

You must have

A bouquet of smiles

In a dark sky

A paradise spring

On scorched land in drought

If you’re a father

You must have

A handful of coins

In a hidden pouch

Dreams worn out in the fist

Halfway through the month

 

          v

 

 

මෙකල බොහෝ කවි ලියන නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ කවි දෙකක් තොරාගනුයේ පරිවර්තනයේ නොහොත් අර්ථ වින්‍යාස ගැන්වීමේ ආස්වාදය හේතුවෙනි.

මෙය ඔහු තම මුහුණු පොතේ පළකළ එකකි.

එහි අපූර්වත්වය මගේ සිත බැඳිණ.

සෙරමික් ලොවට මොකටද ජිප්සම් දළඹ

බඩගිනි දළඹුවනි කාපන් මල් කළඹ

මං සිහිවුනොත් මැදි රෑ ආදර වෙළඹ

කන්ථක මැරුණු තැන තියපන් පා සළඹ.......

 

 

මා එය ඉංග්‍රීසියට හෙලනු ලැබූයේ මෙලෙසින:

Of what use to the ceramic world is a gypsum soffit?

Hungry caterpillars, you gobble up a bouquet.

Beloved mare, if you think of me at midnight,

Keep your anklet at the site of Kanthaka's death.

 

 

ඔහුගේ ම ‘මිනිය ගන්නව තුන හමාරට’ මගේ හද දවනු ලැබීය.

 

                                මිනිය ගන්නව තුන හමාරට....

        



අපේ අම්මව

එම්බාම් කරනකොට

බලන් හිටියා

මම මල් ශාලාවෙ අයිනක

දන්නෙ නෑ එලියෙ මල් පිපුනාද.....

ඒ වගේමයි අපේ තාත්තත්

ආදරේ කළා හැම ගෑණිටම අපේ අම්මට හැර....

 

Cotege Leaves The Residence At Three-Thirty...

 

Whilest our mother

was being embalmed,

I,

beholding it

from the corner of the funeral parlour's site,

did not know whether flowers bloomed outdoors.

Thus

was my father,

who loved every other woman but our mother.

 

     v

 

දිළින්දාගේ වෙහෙසත් දුකත් වෙහෙසත් පිළිබිඹු කරන විමල් කැටපේආච්චිගේ මේ කවියේ මරණය යම් සේ හාස්‍යයට ගැනුමක් ද ඇතැයි මට සිතේ.



දවස තිස්සෙ දුවල දුවල

ගෙදර ඇවිත් ඇඳට වැටිල

ඇහැ ඩිංගක් පියවෙනකොට

මේච්චරට ම සනීප නං

මැරිච්චහම කොහොම ඇද්ද? 

 

බැලූ බැල්මට කවිය සරල වූ ව ද එය ඉංග්‍රීසියට නැඟුම මට අසීරු විය. 

දුප්පතා නිමක් නැතිව වැඩ කිරීම, සිරුර හැර නොයෙන වෙහෙස, මරණය වෙහෙස හමුවේ බාල්දුවීම.

මේ අර්ථ වින්‍යාස ගැන්වීම මගින් මා කවියට යම් සාධාරණයක් කරනු ලැබී ද?.

If a self-asleep eye brings

that much comfort

when falling numbed on the bed at home

after a long day's work,

how much more so when the self is dead?

v

 

මුහුණු පොතේ මගේ ගිණුමේ අලවන කවි බොහෝය.

මේ එසේ අලවන ලද කවියෙකි. කෙටි වූ ව ද එය අනගි කවියෙකි.

බලන්න.

ඇසේ මානෙන් කිරා මැනලා

බොහෝ තැන්වල කළත් නින්දා,

එක දෙකක් හෝ සුමට තැන්

මහ ගල්වලත් තිබුණා...

-           රම්‍ය කුමාර වීරසිංහ.

 

Though in many instances,

by assessing by sight,

humiliation is caused.

Even upon rough boulders,

one or two soft spots are there.

 

              මතු සම්බන්ධයි....

 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment

  යුක්තියේ දෙවඟන නොහොත් එළදෙන - චෙන්නායි මහාධිකරණය ඉදිරිපිට ඇති පිළිරුව බලන්න . යුක්තියේ දෙවඟන නො වූ ව ද එය යුක්තියේ පිළිරුවෙකි. බිඳුණු කරත්...