Monday, December 5, 2022

                                        මිතුරාගේ  දිවි නසා ගැනීම


හද පිරි දුකින් ලියමි.

මගේ මිතුරන් දෙදෙනෙකු දිවිනසාගෙන තිබෙනව.

මේ දිවි නසා ගැනුම් මට හිටි හැටියේ මතක් වෙනව. රෑ නින්දේ දී මතක් උනොත් ඉන් පසු නින්ද යන්නේ නෑ.

ගෙවුණු රෑ එබඳු රැයෙකි.



මේ දිවි නසා ගැනුමක් මට නවත්වන්න තිබුණ ද කියල විටෙක හිතෙනව.

මීට අවුරුදු විස්සකටත් එහා එදා සිකුරාදා දවසක්, පාසැලේ අවසාන කාල ඡේදය.

ඉස්කෝලෙ වටරවුමේ යන මම විද්‍යාගාර ජනේලයෙන් ඔහු යමක් මිශ්‍රකරමින් සිටිනවා දකිනව. මේ අවසාන කාලඡේදයේ විද්‍යාපරික්‍ෂණයක් කරන්න කාලයක් තියෙනව ද කියල විමසන සිතින් ඔහු දෙස බලා සිටි මට හදිසියේ කාර්යාලයට යාමට සිදුවෙනව. මෙය හිතෙන් ගිලිහෙනව.

ඔහූ එළැඹෙන සතියේ ප්‍රේම සම්බන්දයක් මත විවාහ වෙන්න හිටියේ. අධ්‍යාපන සමූපකාර සමිතියෙන් රුපියල් විසි පන්දාහක ණයක් ගත් ඔහු තම ගේ පිළිසකර කිරීමේ යෙදුණ.

එම සෙනසුරාදා ඔහුගේ මිතුරන් එකතුවෙලා ඔහුගේ ගෙදර ලොකු ශ්‍රමදානයෙක් පවත්වනව. ඔහු මිතුරන් හා සිනහසෙමින් විනෝදවෙමින් ඔහුනට හොඳින් නොමසුරුව සංග්‍රහ කරනව.

සඳුදා ඔහු පාසැල් ආවේ නෑ.

පණිවුඩයක් ලැබුණා ඔහු මිය ගිහින් කියල.

රසදිය, පොටෑසියම් සයනයිඩ් සහ තවත් රසායන ද්‍රව්‍ය කිහිපයක් ඔහු පානය කරල.

පානය කළේ එක් දෙයක් නම් බොහෝ විට ජීවිතය බේරා ගත හැකිව තිබූ බවයි වෛද්‍ය මතය.

විද්‍යාව දන්නා ඔහු බොහෝ දේ මුසු කොට පානය කළේ දිවි නසා ගැනීමෙන් මෙපිට දිවි රැක ගැනීමේ අපේක්‍ෂාවක් නැති හෙයින්.

ජීවියෙන් පිරුණු තරුණ ඔහු දිවි නසාගත්තේ ඇයි කියල දන්නා කෙනෙකු නෑ.

ඇතැම් දිවි නසා ගැනුම් උභතෝකෝටිකයි. කොච්චර කාලයක් ඔවුන් චිත්ත පීඩාවකින් හිටිය ද කියල සමිපතමයෝවත් දන්නේ නෑ.

මිනිස් සිත!


1 comment:

  1. මගේ කිට්ටු ඥාතිවරියක් විවාහය ලියාපදිංචි කරල අවුරුදු හයක්, මහත්තය ජපානෙ හිටියෙ. ඇයත් හොඳ රස්සාවක් කළා. මහරගම හොඳ ගෙයක් හදල, විවාහට තෙදිනක් තියා රාත්‍රියෙ ළිඳට පැනල මළා. දැන් දශක තුනක්. අදටත් දන්නෑ හේතුවක්. මිනිස්සු නොයෙක් කතා කිවුව. ඒත්, මරණ පරීක්ෂණෙන් කිවුවෙ ඒ කතා බොරු කියල. කොහොමහරි මළා. ඊට තෙදිනකට ඉස්සර ඇගෙ මල්ලි එක්ක පන්සලට ඇවිත් මගෙ ඇඳ උඩ සුදු සාරි දෙකක් දිග ඇරල ඇහුව මට මේකෙන් හොඳ එක තෝරල දෙන්ඩ කියල. මං කිවුව ෆොටෝ එකක මිසක් ජීවිතේට මනමාලියක් පණපිටින් නොදැක්ක මම කොහොම ද ඔක කරනනෙ කියල. හිනාවෙවී ගෙදර ගියා.

    ReplyDelete

  යුක්තියේ දෙවඟන නොහොත් එළදෙන - චෙන්නායි මහාධිකරණය ඉදිරිපිට ඇති පිළිරුව බලන්න . යුක්තියේ දෙවඟන නො වූ ව ද එය යුක්තියේ පිළිරුවෙකි. බිඳුණු කරත්...